වෘත්තීය හෙද අධ්‍යාපන පීඨය

වෘත්තීය හෙද අධ්‍යාපන පීඨය

“වෘත්තීය හෙද අධ්‍යාපන පීඨය” සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධන පදනමේ (S.M.I.D.F) අනුබද්ධිත පැරණිතම ආයතනය වන අතර දීර්ඝකාලීන නොසැලෙන ගමනක නිරතවන, මේ වන විට ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයට වැඩිම හෙදියන් පිරිසක් දායාද කල දැනට මෙරට ක්‍රියාත්මකවන පැරණිතම හෙද විද්‍යාලයක් වශයෙන් සලකනු ලබයි. මෙම හෙද පාඨමාලාව හදාරන සියළුම සිසුවියන් හට පුහුණුවෙන් පසු වසර දෙකක සේවා කාලයකින් අනතුරුව ජාතික වෘත්තීය සුදුසුකම් පරික්ෂණය (NVQ) සඳහා පෙනී සිටීමෙන් (පෙර හැකියාව සහ පළපුරුද්ද මත) හෙද උපාධිය දක්වා ගමන් කිරීමේ අවස්ථාවද හිමිවනු ඇත. දිවයින පුරා ආරෝග්‍යශාලාවන්හි ඇති හෙද, හෙද සහායිකා (Nurse/ Nurse Assistant) ඇබෑරතු පිරවීම සඳහා මෙම පුහුණු පාඨමාලාව පවත්වන අතර පුහුණුව සාර්ථකව හදාරා අවසන් කරන සියළුම ශිෂ්‍යාවන් රැකියාවන් සඳහා අනුයුක්ත කරනු ඇත.

ත්‍රිවිධ හමුදා, පොලිස්, සමෘද්ධි හා අඩු ආදායම් ලබන පවුල තරුණියන් හා පාසලේදී හෝ පාසලෙන් පිටත ක්‍රීඩා හා විෂය බාහිර ක්‍රියාකාරකම් වලදී දක්ෂතාවයන් දක්වා ඇති තරුණියන් සඳහා බඳවාගැනීමේදී ප්‍රමුඛතාවය ලබාදෙනු ඇත.

පුහුණු කාල සීමාව තුල නොමිලේ

  • වෘතියට අදාල ලෙස ඉංග්‍රීසි පාඨමාලාවක්
  • දෙමළ භාෂාව ලිවීමේ කියවීමේ හා කථා කිරීමේ පාඨමාලාවක්
  • එදිනෙදා භාවිතයේදී අත්‍යාවශ්‍යවන ඉංග්‍රීසි භාෂාව කථා කිරීමේ පුහුණුවක් සහ
  • පරිගණක පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව හිමිවනු ඇත.

මීට අමතරව පුහුණු කාලසීමාව තුල

නිල ඇදුම්, අභ්‍යාස පොත්, පෑන් පැන්සල්, ආයතනය තුල ආරක්ෂිත නේවාසික පහසුකම්, හෙදියකට අවශ්‍ය වෛද්‍ය උපකරණ ආදිය පහසු මිලට ලබාදෙනු ඇත. මීට අමතරව ශිෂ්‍යාවන්ගේ නායකත්වය, කණ්ඩායම් හැගීම, පෞරෂත්ව වර්ධනය සහ බාහිර ක්‍රියාකරකම් වර්ධනය කිරීම සඳහා ක්‍රීඩා උත්සව, භාෂා දින විවිධ ප්‍රසංග, ආගමික වැඩසටහන් ද රාජ්‍ය ආයතන හා සම්බන්ධව වසංගත රෝග මර්ධනය හා නිවාරනය පිළිබද ප්‍රායෝගික වැඩසටහන් සඳහා මෙන්ම පුහුණු වැඩමුළු සඳහා ද පාඨමාලාව හදාරන කාලය අතරතුරදී මෙම ශිෂ්‍යාවන්ට සහභාගීවීමට අවස්ථාව ලබාදෙනු ඇත.

අ.පො.ස. සා/පෙළ අසමත් සිසුන්

අ.පො.ස.(සා/පෙළ) ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව යන විෂයන් හෙද පාඨමාලාවට ඇතුලත්වීම සඳහා අත්‍යවශ්‍යවන නමුත් බොහෝ දුෂ්කර පලාත්වල සිසුන්ට මෙම විෂයන් සඳහා ප්‍රමාණවත් පහසුකම් නොලැබීම හේතුවෙන් යම් යම් විෂයන් අසමත් වන බව දක්නට ලැබේ. එවැනි සිසුන් සඳහා කෙරෙන අතදීමක් වශයෙන් එම සිසුන් හෙද පාඨමාලාවට බඳවාගෙන පාඨමාලා කාලය තුල ගණිතය, විද්‍යාව හෝ ඉංග්‍රීසි විෂයන් සඳහා අමතර සා/පෙළ උපකාරක පංති හෙද විද්‍යාලය තුල පවත්වා අසමත්වූ විෂය/විෂයන් සමකර ගැනීම සඳහා අවශ්‍ය උපකාරය ලබාදෙනු ඇත.

විදුහල්පතිනියගේ පණිවිඩය

ලෝක ඉතිහාසය දෙස බලන විට වඩාත්ම ගෞරවාදරයට පාත්‍රවන මෙන්ම සමාජයට විශාල සේවයක් සිදුකල හැකි ගෞරවණිය වෘත්තියක් ලෙස හෙද සේවාව හඳුනාගත හැකිවේ. සාමාන්‍ය වෘත්තියකට එහා ගිය දැවැන්ත වගකීමක් මෙම වෘත්තියේ නියලෙනෙකුට පවතින බව අමුතුවෙන් කිය යුතු නොවේ. ඕනෑම රටක පුරවැසියන්ගේ කායික හා මානසික නිරෝගී පැවැත්ම උදෙසා මෙන්ම එම රටේ සමාජ සංවර්ධනය සඳහාද සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් ලබාදෙන දායකත්වය ඉමහත්ය. එබැවින් සංවර්ධිත රටවල් මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල්ද තම රටේ සෞඛ්‍ය සේවාව සඳහා අති විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරනු ලබයි. සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාවද තම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව සඳහා නවීන තාක්ෂණයෙන් යුත් මෙවලම්, ඖෂධ වර්ග සහ යටිතල පහසුකම් මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ දැනුම නංවාලීම සඳහා අති විශාල වියදමක් දරන අතර වර්තමානයේදී පෞද්ගලික අංශයද මේ සඳහා දායක කරගනිමින් සිටී.

මේ වන විට පෞද්ගලික අංශය මගින් පාලනය වන සියලු පහසුකම් වලින් යුත් පෞද්ගලික රෝහල්, රසායනාගාර මෙන්ම අනෙකුත් වෛද්‍ය පහසුකම් සපයන ආයතන රාජ්‍ය අංශයට අමතරව දැවැන්ත මැදිහත්වීමක් සහ දායකත්වයක් ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකරන අතර දින්නෙන් දින දියුණුවන පෞද්ගලික අංශයේ රෝහල් සඳහා අතිවිශාල හෙදියන් පිරිසකගේ සේවය අවශ්‍ය වී ඇත. නමුත් දේශීය හා විදේශීය වශයෙන් ඇතිවන මෙම රැකියා අවස්ථාවන් සඳහා නිසි පුහුණුවක් ලද වෘත්තිකයින්ගේ දැවැන්ත හිගයක් දක්නට ලැබේ.

එම දේශීය හා විදේශීය රැකියා අවස්ථාවන් සඳහා සුදුසුවන හැකියාවන්ගෙන් අනූන වූ හෙදියන් බිහිකිරීම SMIDF අනුබද්ධිත වෘත්තීය හෙද අධ්‍යාපන පීඨයේ අරමුණ හා ඉලක්කය වන අතර මීට වසර 13 කට පෙර බිහිවූ වෘත්තීය හෙද අධ්‍යාපන පීඨය මේ වන විට මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට දහස් සංඛ්‍යාත හෙදියන් පිරිසක් බිහිකර දී ඇති ආයතනයකි. එමෙන්ම තරුණියන් සඳහා සුදුසු මෙන්ම පිළිගත් ගෞරවණිය වෘත්තියක් වශයෙන් හෙද වෘත්තිය හඳුන්වා දිය හැකි අතර දැනට මෙරට ක්‍රියාත්මක වන පැරණිතම හා විශාලතම හෙද විද්‍යාල වලින් එකක් වන වෘත්තීය හෙද අධ්‍යාපන පීඨයට පැමිණෙන සිසුවියන්ගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.

එම්. ඩී. එම්. නිමලරත්න
විදුහල්පතිනිය (වෘත්තීය හෙද අධ්‍යාපන පීඨය)