භාෂා අධ්‍යයන ඒකකය

සමාජීය වශයෙන් කිසියම් පුද්ගලයකු ඇගයීමට ලක්වන්නේ සන්නිවේදන හැකියාව, දැනුම, බුද්ධිය සහ අනෝන්‍ය සම්භන්ධතා පවත්වාගැනීමට ඇති හැකියාව වැනි කරුණු පදනම් කරගෙනය. මෙහිදී විශේෂයෙන්ම ඔහු හෝ ඇය සතු භාෂා කුසලතාවය ඉතා වැදගත් අංගයකි. තමන්ගේ මවුබස භාවිතයට අමතරව වෙනත් දේශීය හෝ විදේශීය භාෂාවක් හැසිරවිය හැකිනම් එය සමාජයේ ඉහල තැනකට ඔබ ඔසවා තැබීමට හේතුවක් වනු ඇත. උසස් අධ්‍යාපන කටයුතුවලදී මෙන්ම රැකියාවක් සොයාගැනීමේදී හෝ ඔබ දැනට යෙදෙන රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු වන විට ජාත්‍යන්තර භාෂාවක් ලෙස ඉංග්‍රීසි භාෂා දැනුම ඉතා වැදගත් වන අතර වර්ථමාන රාජ්‍ය ප්‍රතිපත්ති අනුව රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් ලබාගැනීමේදී දෙමළ භාෂාව පිළිබද දැනුමද ඉතා වැදගත් වේ.දේශීයව මෙන්ම විදේශීයවද ද වෘත්තීකයන් හට ඉතා විශාල රැකියා ඇබෑර්තු ප්‍රමාණයක් පවතී. මෙම රැකියාවන් සඳහා ඔබ අයදුම්කිරීමේදී ඉංග්‍රීසි/දෙමළ භාෂාව ප්‍රමුඛව අනෙකුත් විදේශීය භාෂාවන් පිළිබද ඇති දැනුම ඔබට ඉමහත් පිටුවහලක් වනු ඇත.

දැනට මෙරට ඇති වෘත්තීය අධ්‍යාපන ආයතන අතුරින් ඉදිරියෙන්ම සිටින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධන පදනමේ(SMIDF) භාෂා අධ්‍යයන ඒකකය ඉංග්‍රීසි හා දෙමළ භාෂාවන් ප්‍රමුඛව තෝරාගත් විදේශීය භාෂාවන් ගණනාවක් සඳහා දේශණ මෙහෙයවමින් තරුණ තරුණියන්ගේ භාෂා සාක්ෂරතාවය ඉහළ නැවීමට කටයුතු කරන අතර මෙම සියලුම පාඨමාලාවන් ආධුනිකයෙකුට ඉතා සරලව, පැහැදිලිව මුලසිටම හැදැරීමේ පහසුකම් සලසා ඇත.

උසස් අධ්‍යාපන වරම් ලැබූ හෝ නොලැබූ සියලු දෙනාටම එක ලෙස ඵලදායී වන ඉංග්‍රීසි භාෂාව / දෙමළ භාෂාව ඇතුලුව අනෙකුත් ප්‍රධාන විදේශීය භාෂාවන් හැදැරීම අවශ්‍ය පහසුකම් සලසමින් දැයේ දූ දරුවන්ගේ අනාගතය දීප්තිමත් කරගැනීමට අවශ්‍ය අඩිතාලම සකස් කරනු ලබයි. මෙම භාෂා පාඨමාලාවන් හැදැරීම සඳහා වයස් සීමාවකින් තොරව සියලු දෙනාටම ඇතුලත්වීමේ අවස්ථාව සලසා ඇති අතර මූලික පාඨමාලාවේ සිට සහතිකපත්‍ර පාඨමාලාව, ඩිප්ලෝමා පාඨමාලාව, උසස් ඩිප්ලෝමා පාඨමාලාව ලෙස අදියරෙන් අදියර ඔබට අවශ්‍ය භාෂාවක් හැදෑරීමේ පහසුකම SMIDF භාෂා අධ්‍යයනාංශයෙන් ලබාගත හැකි අතර භාෂා පාඨමාලාවන් හැදෑරීම සඳහා SMIDF වෙත පැමිණෙන තරුණ තරුණියන්ගේ අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වනු දැකීම භාෂා අධ්‍යයනාංශයේ ප්‍රාර්ථනයයි.

ඒ.එම්. ජයතිස්ස
අංශ ප්‍රධානී(භාෂා අධ්‍යයනාංශය)

මෙම භාෂා පාඨමාලාවන් කවුරුන් සඳහාද

S.M.I.D.F භාෂා පුහුණු අංශය මගින් මෙහෙයවන මෙම පාඨමාලාවන් මුල සිටම විවිධ වූ භාෂාවන් අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයින්හට මෙන්ම පාසල් අධ්‍යාපනය ලබන සිසු දරුවන්ටද ගැලපෙන ලෙස ඉතා සරලව සකස් කර ඇත. විශ්ව ගම්මාන සංකල්පය පිළිබඳ කථාකරන වර්ථමාන සමාජයේදී විවිධ වූ භාෂාවන් හැසිරවීමේ හැකියාවෙන් යුතු පුද්ගලයින් හට සුවිශේෂී භාවයක් හිමිවන අතර සීඝ්‍ර ලෙස දියුණුවන සමාජයේ වැඩි රැකියා අවස්ථාවන් සංඛ්‍යාවක් සඳහා විවිධ වූ භාෂාවන් හැසිරවීමේ හැකියාවන් සහිත පුද්ගලයින් හට ප්‍රමුඛතාවය හිමිවන බව දක්නට ඇත. විරැකියාවෙන් පෙලෙන බහුතරයක් තරුණ තරුණියන් සතුව භාෂා සාක්ෂරතාවයක් සහ තොරතුරු තාක්ෂණය භාවිතය පිළිබද දැනුමක් නොමැති බවත් දක්නට ලැබේ. එමෙන්ම රැකියාවන්හි නියුක්ත පුද්ගලයින්ගේද භාෂාවන් පිළිබද ඇති හැකියාව ඉතා දුර්වල තත්ත්වයක පවතින බවත් විවිධ භාෂාවන් හැසිරවීමේ හැකියාවෙන් යුතු පුද්ගලයින් සඳහා රැකියාවේ උසස් වීම්, වැටුප් වර්ධක මෙන්ම රැකියා ස්ථානයේ විශේෂ පිළිගැනීමක්ද හිමිවනු ඇත. එම තත්වයට රැකියා අපේක්ෂිත, දෙස් විදෙස් උසස් අධ්‍යාපන වරම්පතන හෝ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවය කරන පුද්ගලයින්හට ලගාවීම සඳහා අවශ්‍ය භාෂා දැනුම ලබාගත හැකි ලෙස සකස් කොට ඇති මෙම පාඨමාලාවන් දුරස්ථ අධ්‍යාපන ක්‍රමය ඔස්සේද අධ්‍යයනය කිරීමට පහසුකම් සලසා ඇත.

පාඨමාලාවේ ස්වභාවය

භාෂාවක් අධ්‍යයනය කිරීමට කැමැත්තක් දක්වන ඕනෑම පුද්ගලයකුහට මෙම භාෂා පාඨමාලාවන් සඳහා සහභාගී වියහැකි අතර ඔවුන් මූලිකවම නොමිලේ පැවැත්වෙන මූලික පදනම් පාඨමාලාව හැදෑරීම අනිවාර්ය වේ. එම පාඨමාලාව සමත්වන පුද්ගලයින්හට ලබාගන්නා සාමාර්ථය මත සහතිකපත්‍ර පාඨමාලාවට හෝ ඩිප්ලෝමා පාඨමාලාවට සම්භන්ධවීමේ හැකියාව ඇත. මෙම සෑම භාෂා පාඨමාලාවකදීම මුලසිටම ඉතා සරලව කථනය, ව්‍යාකරණ සමග ලිවීම, කියවීම, සවන්දීම ඇතුලු භාෂා අධ්‍යාපනයකදී අවශ්‍ය වන සියලුම අංශයන් පිළිබඳ පුහුණුවක් ලබාදෙනු ඇත.