අපි ගැන

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධන පදනම යනු

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධන පදනම(SMIDF) 1998 වර්ෂයේදී ඉතා කුඩා ආයතනයක් වශයෙන් ආරම්භ කරන ලදි. මුල් අවධියේදී අඩු ආදායම් ලබන රැකියා විරහිත ග්‍රාමීය ජනතාවගේ ආර්ථික මට්ටම ඉහල නැංවීමේ අරමුණින් හා ව්‍යාපාරිකයන් වශයෙන් ඔවුන් ඉදිරියට ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගීතාවයද සහිතව ස්වයං රැකියා වැඩමුළු ප්‍රාදේශීය මට්ටමින් පැවැත්වීම මූලිකව සිදුකරන ලදී. එම ස්වයං රැකියා වැඩමුළු මගින් බිහිවූ දක්ෂ ව්‍යාපාරිකයින් අතර අපනයන වෙළදපල දක්වා ගමන්කල ව්‍යාපාරිකයන්ද බිහිවී සිටීම අප ආ ගමන්මගේ සුවිශේෂී සංධිස්ථානයකි.

වසර 2000 දී ආරම්භ කරන ලද “වෘත්තීය හෙද අධ්‍යාපන පීඨය” මේ වන විට මෙරට ක්‍රියාත්මක වන පැරණිම සහ විශාලම හෙද විද්‍යාලවලින් එකක් ලෙස සැලකේ. දුරබැහැර ශිෂ්‍යාවන් විශාල ප්‍රමාණයකට නේවාසික පහසුකම් සහිතව පවත්වාගෙන යන මෙම හෙද විද්‍යාලය තුලින් බිහිවූ හෙදියන් විශාල ප්‍රමාණයක් දිවයින පුරා සෞඛ්‍ය අංශයේ සේවය කරමින් පසුවන අතර දේශීය හෝ විදේශීය හෙද සේවයට එක්වීමේදී අත්‍යාවශ්‍ය වන ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම පරිගණක භාවිතයේ ඇති හැකියාව මෙන්ම වර්ථමානයේ රැකියාවක් ලබාගැනීමේදී දේශීය වශයෙන් අතිශය වැදගත්වන දෙමළ භාෂාව පිළිබඳ පාඨමාලාවක්ද සහිතව අමතර පාඨමාලාවන් 03 ක් හෙද විෂය නිර්දේශයට අමතරව වසරක කාලයක් පුරා අධ්‍යයනය කිරීමට මෙම හෙද සිසුවියන්ට අවස්ථාව ලැබේ.

2002 වසරේදී ශ්‍රී ලාංකීය තොරතුරු තාක්ෂණ ඉතිහාසයේ සුවිශේෂී වෙනසක් සිදුකල SMIDF “තොරතුරු තාක්ෂණ ඒකකය” ආරම්භ කරන ලදී. එදා මෙදා තුර මෙරට කිසිදු වෘත්තීය අධ්‍යාපන ආයතනයකින් සිදු නොකල පුහුනුවන සැමට නොමිලේ පරිගණක පද්ධතියක් පිරිනමමින් පරිගණක පාඨමාලාවන් මෙහෙයවීම SMIDF තොරතුරු තාක්ෂණ ඒකකය මගින් ආරම්භ කරන ලද අතර මෙහි සුවිශේෂීම ලක්ෂණය වන්නේ පාඨමාලාව අරඹන දිනම සියළුම සිසුන්ට නොමිලේ මල්ටමීඩියා පරිගණක පද්ධතියක් ප්‍රදානය කිරිමයි. එමෙන්ම මේ වන විට රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා මෙන්ම ගෘහණියන්ට හා රැකියාවන්හි යෙදී සිටින පුද්ගලයින්ට අමතර ආදායමක් ලබාගැනීම සඳහා අන්තර්ජාල රැකියා අවස්ථාව උදාකරගත හැකි Internet Money & E-Commerce පාඨමාලාවකුත් විශ්ව විද්‍යාල වරම් අහිමිවූ තරුණ තරුණියන් සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලාව සඳහා දේශණත් SMIDE තොරතුරු තාක්ෂණ ඒකකය මගින් මෙහෙයවන අතර පැමිණිමේ අපහසුතා ඇති හෝ කාලවේලා වෙන්කරගත නොහැකි පුද්ගලයින් සඳහා දුරස්ථ අධ්‍යාපන ක්‍රමය යටත්තේ නිවසේ සිටම පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාවද SMIDF මගින් උදාකරදී ඇත.

2005 වසරේදී SMIDF ගුරු පුහුණු අංශය ආරම්භ කරන ලද අතර වර්ථමානයේදී අත්‍යවශ්‍ය වන හා අතිවිශාල ඉල්ලුමක් ඇති ඉංග්‍රීසි,දෙමළ හා තොරතුරු තාක්ෂණ යන විෂයන් ඉගැන්වීමේ හැකියාවෙන් යුතු ගුරුවරුන් බිහිකිරීම මෙම ඒකකයේ අරමුණ විය. මෙම ගුරු පුහුණු පාඨමාලාව තුලින් අවම වශයෙන් ඉහත විෂයගෙන් විෂයන් 2 ක් ඉගැන්වීමේ හැකියාව ඇති අති සුවිශේෂී හැකියාවකින් යුත් ගුරුවරුන් පිරිසක් ශ්‍රී ලාංකීය වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයට එක් කිරීමට SMIDF ගුරු පුහුණු අංශය බලාපොරොත්තු වන අතර ඔවුන් මගින් SMIDF වෘත්තීය පුහුණු පාඨමාලාවන් දිවයින පුරා ප්‍රචලිත කිරීම සඳහා අනුබද්ධ මධ්‍යස්ථාන ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වේ.

2007 වසරේදී ආරම්භ කරන ලද SMIDF භාෂා අධ්‍යයන අංශය යටතේ මේ වන විට ඉංග්‍රීසි, දෙමළ හා අනෙකුත් භාෂාවන් හැදෑරීම සඳහා තරුණ තරුණියන්ට අවස්ථාව උදාකර දී ඇත. මෙහිදී මූලික පාඨමාලාවන් සඳහා මාස 03 ක කාලයක් නොමිලේ සහභාගී විය හැකි අතර මූලික පාඨමාලාවන් සමත්වන පුද්ගලයින් පමණක් සහතික පත්‍ර හා ඩිප්ලෝමා පාඨමාලාවන් සඳහා ඇතුලත් කරගනු ලබයි. මෙම පාඨමාලාවන් තුලින් දේශීය හා විදේශීය රැකියාවන්හිදී අත්‍යාවශ්‍ය වන භාෂාවන් හැසිරවීම පිළිබඳ මුලසිටම සරලව දැනුම ලබාදීමට බලාපොරොත්තු වේ.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධන පදනම සමාගම් පනතේ PV/5798 අංකය යටතේ, සංස්ථාවක් ලෙස නීතිගත කර ඇති ආයතනයක් වන අතර තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ P12/0105 අංකය යටතේ තෝරාගත් පාඨමාලාවන් සඳහා ලියාපදිංචි වී ඇති ආයතනයකි.

සභාපති/කළමණාකාර අධ්‍යක්ෂකතුමාගේ පණිවිඩය

සමාජයේ දියුණුවත්, සමාජයේ සුරක්ෂිතතාවයත් ඇතිවන්නේ අධ්‍යාපනය තුලිනි. දක්ෂතාවලින් පරිපූර්ණ වූ උගත් ජනතාවක් වෙසෙන ඕනෑම රටක සංවර්ධනයත් සමාජයේ මනා හික්මීම හා සුරක්ෂිතතාවයක් ඇතිවන බව එදා සිට අද දක්වා ලෝකයේ පිළිගැනීමයි. මවු පිය ගුරුවරුන්ගේ සෙවනේ ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනය ලබන දරුවා තරඟකාරී විභාගයකින් පසු විශ්ව විද්‍යාල වරම් උදාකරගනී. නමුත් අ.පො.ස (සා/පෙළ) සමත්ව උසස් පෙළ හදාරන සිසුන්ගෙන් විශ්ව විද්‍යාල වරම් ලබනුයේ ඉතා සීමිත පිරිසකි. එමෙන්ම උසස් අධ්‍යාපනය ලබන නමුත්, නිසි වෘත්තීය පුහුණුවක් නොලැබීම හේතුවෙන් විරැකියාව ඉහල යන බවත් රැකියා අවස්ථාවන් සඳහා සුදුසු තත්වයක එම තරුණ තරුණියන් නොසිටින බවත් පෞද්ගලික ආයතන වල පවතින අති විශාල රැකියා අවස්ථාවන් ප්‍රමාණයෙන් වටහාගත හැකිවනු ඇත. රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සංඛ්‍යාව දිනෙන් දින ඉහලයාමත් රැකියා ඇබෑර්තු සංඛ්‍යාව දිනෙන් දින ඉහල යෑමත් තුලින් දක්නට ලැබෙන්නේ හා වටහාගත හැකි වන්නේ රැකියා ලොව ජයගැනීමට සුදුසු පුහුණු ශ්‍රමිකයන් නොමැතිවීමෙන් කර්මාන්ත සේවා හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්ත හිඩසක් ඇතිවී තිබෙන බවයි.

“ශ්‍රී ලාංකීය වෘත්තීය අධ්‍යාපනයේ නිර්මාණශීලි පෙරගමන්කරු” වශයෙන් SMIDF අපගේ බලාපොරොත්තුව ඉහත සඳහන් කල හිඩැස පිරවීමේ හැකියාවෙන් යුත් දක්ෂ වෘත්තීකයන් පිරිසක් රටට බිහිකිරීමයි. පසුගිය දශකයකට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකීය වෘත්තීය අධ්‍යාපනයේ කිසිදු ආයතනයකට සිදුකල නොහැකි වූ හා සිදු නොකල පරිගණක පුහුණුව ලබන තරුණ තරුණියන් සියලු දෙනාට නොමිලේ පරිගණක ලබාදීම, දුර බැහැර සිසුන් සඳහා සහන මිලට නේවාසික පහසුකම් සපයමින් වෘත්තීය පුහුණුව ලබාදීම, එක් පාඨමාලාවක් තුල නොමිලේ අමතර පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව ලබාදීම, පැමිණීමේ හැකියාව නොමැති පුද්ගලයින් සඳහා දුරස්ථ අධ්‍යාපන ක්‍රමය යටතේ අධ්‍යයන කටයුතු කරගැනීමට පහසුකම් සැලසීම වැනි මෙරට කිසිදු වෘත්තීය පුහුණු ආයතනයක් ලබානොදුන් පහසුකම් රැසක් SMIDF වෙතින් සිසුන්හට ලබාදී ඇත.

මෙම පාඨමාලාවන් හොදින් අධ්‍යයනය කර ඔබ බලාපොරොත්තු වන රැකියා අවස්ථාව සඳහා සුදුසු වන පාඨමාලාවක් තෝරාගන්නා ලෙසත්, ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා SMIDF ආචාර්‍ය මණ්ඩලය නිරතුරුව සූදානමෙන් සිටින බවත් සිහිපත් කරන අතර SMIDF වෘත්තීය පුහුණු පාඨමාලාවන් සඳහා සහභාගී වී අනාගතය ජයගැනීමට උත්සාහ දරන ඔබ සැමගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්තනා කරමි.

M.M.T.D.රත්මලේ
සභාපති/කළමණාකාර අධ්‍යක්ෂ